Tuesday, October 2, 2018

මම එනවා ජනවාරියට...

අම්මා හදන සම්බෝලයි බතුයි කන්න තිබුණා මට
අප්පච්චිගේ විට මල්ලෙන් විටක් කන්න තිබුණා මට
ලොකු අක්කාගේ හිනා කතා අහන් ඉන්න තිබුණා මට
ගිය මාසේ නිවාඩුවට ගෙදර යන්න දුන්නානම් මට

බබේ අලුත් ෆිල්ම් එහෙම හම්බුනේ නැද්ද
ඉස්සර වගේ සුදු ඔයා බෙරිහන් දෙනවද
ලකී තාම ටීෂාගේ බත් කන්න එනවද
මගේ ඇඳේ දැන් කවුරුත් නිදියනවද

වෙරලු ගහේ වෙරලු තියෙද ජනවාරියට
දිය ඇල්ලේ වතුර තියෙද ජනවාරියට
මාළිගාවේ සෙනඟ ඇතිද ජනවාරියට
මාස තුනයි මම එනවා ජනවාරියට

Tuesday, May 8, 2018

සඳ නැඟෙනා එක් මැදියම් රැයක
සිහිල් සීත රැලි හමන වෙලාවක
කණාමැදිරියන් පියඹන මොහොතක
අප සිත් බැඳුණා ආදර කවියක

සවනට මිහිරක් වුවා ඔබෙ කතාව
දෙනෙතට මිහිරක් වුවා ඔබෙ සිනාව
හිතකට මිහිරක් වුවා ඔබෙ ආලය
කඳුලක නැවතුන සුන්දර ප්‍රේමය

වෙන සිතකට ඔබ පෙම් බැඳි කාලේ
තත්පරයක් මට පැයක් වගේ
රිදුණත් මා හද ඉපදුණ ප්‍රේමේ
සිටියෙමි මා ඔබ එනතුරු ආයේ

දැණුනා ඔබ මාගේ නොවන බව
හිතුණා යන්න හිස හැරෙනා අතක
මැකුවා මා සිතින් ඔබේ මතක
බැඳුණා මා සිතත් වෙන හදක

යන්නෙමි ළගදීම මා ඔහු වෙනුවෙන්
ඉන්නෙමි මිතුරියක් වී මා ඔබ වෙනුවෙන්
ලිව්වෙමි කවි පෙළක් අපේ ප්‍රේමය වෙනුවෙන්
පතනෙමි සතුට හැමදාමත් ඔබ වෙනුවෙන්