Tuesday, May 8, 2018

සඳ නැඟෙනා එක් මැදියම් රැයක
සිහිල් සීත රැලි හමන වෙලාවක
කණාමැදිරියන් පියඹන මොහොතක
අප සිත් බැඳුණා ආදර කවියක

සවනට මිහිරක් වුවා ඔබෙ කතාව
දෙනෙතට මිහිරක් වුවා ඔබෙ සිනාව
හිතකට මිහිරක් වුවා ඔබෙ ආලය
කඳුලක නැවතුන සුන්දර ප්‍රේමය

වෙන සිතකට ඔබ පෙම් බැඳි කාලේ
තත්පරයක් මට පැයක් වගේ
රිදුණත් මා හද ඉපදුණ ප්‍රේමේ
සිටියෙමි මා ඔබ එනතුරු ආයේ

දැණුනා ඔබ මාගේ නොවන බව
හිතුණා යන්න හිස හැරෙනා අතක
මැකුවා මා සිතින් ඔබේ මතක
බැඳුණා මා සිතත් වෙන හදක

යන්නෙමි ළගදීම මා ඔහු වෙනුවෙන්
ඉන්නෙමි මිතුරියක් වී මා ඔබ වෙනුවෙන්
ලිව්වෙමි කවි පෙළක් අපේ ප්‍රේමය වෙනුවෙන්
පතනෙමි සතුට හැමදාමත් ඔබ වෙනුවෙන්

Friday, November 17, 2017

ඔබ

සීතල වැහි බිදු වැටෙන වෙලාවක
දේදුනු අහසේ පාවෙන දවසක
නිල් සයුරේ රැලි හිනැහෙන මොහතක
ඔබ හමුවෙයි මට සොදුරු සැදැවක

කුරුලු කිරිලියන් පියඹා යද්දී
සිතිජ ඉමේ හිරු සැගවී යද්දී
රළ පෙළ වෙරළට පාවී එද්දී
ඔබ ලන්වෙයි මට ආදර හිත්දී

දෙනෙත් පියන් යට සිහින තනද්දී
ඇතුරුවේ හිත් මඩලේ මල් පියළී
ආදර හිත ලග මොහොතක් නැවතී
තුරුලුව ඉන්නට මම හරි කැමතී

ගැඹුරුයි ඔබේ ආදරය මට මහ සයුර වගේ
සුවදයි ඔබේ ආදරය පිපෙනා මලක් වගේ
සිසිලයි ඔබෙ ආදරය ගලනා දොළක් වගේ
ආදරෙයි ඔබට මා මේ නිල් අහස වගේ

Thursday, October 19, 2017

ඇත-නැත

නැතිවෙන දේට පසුතැවිල්ල වැඩක් නැතේ..
ඇතිවෙන දේට ලෝබ සිතත් ඵලක් නැතේ..
ඇතිවෙන නැතිවෙන හැමදේම ස්ථිර බවක් නැතේ...
දුක නැතිකලොත් සසරේ නැවතුමක් ඇතේ...

ඉපදෙන කෙනෙක් කවදා හරි මැරෙනු ඇතේ...
මැරෙන කෙනෙක් හැමදාමත් සිතේ නැතේ...
ඇතිවෙන බැදිම් කොයි මොහොතක බිදෙනු ඇතේ...
කරන පිනක් මිස කිසිවක් ඵලක් නැතේ...

Wednesday, June 18, 2014

අවදිවීම

නිසල සිත සසල කල මම
පසුතැවෙමි අද
මන්ද
ඔබ තව තවත් සිත් නිකරුණේ
සසල කරන බැවින්...


Wednesday, February 19, 2014

අකමැත්ත

මැරෙන්න කොච්චර අකමැති උනත්
                 මැරෙන්නම වෙනවා
ඉපදෙන්න කොච්චර අකමැති උනත්  ආයේ
                 ඉපදෙන්නම වෙනවා
සමහර බැඳීම් අතහරින්න කොච්චර අකමැති උනත්
                 අතහරින්නම වෙනවා
සිත හදාගන්න කොච්චර බැරි උනත්
                 හදාගන්නම  වෙනවා


තුට

අහසට තුට
                -  සඳවත සිසිලස දීම
ගසකට තුට
                - සුවඳැති මල් පිබිදීම
සයුරට තුට
                - වෙරළට රැළි පාවීම
මසිතට තුට
                - නුඹ සිහිනෙන් පැමිණීම



Tuesday, February 18, 2014

අතහැරීම


  ලොව නිසා ඔබ -
         මා අතහැරියා...
ඔබ නිසා මම -
        ලොව අතහැරියා...